Tuesday, September 30, 2014

Jaya lalitha.හැම ආණ්‌ඩුවකටම වාතයක්‌ වුණු ජයලලිතාගේ සාරි දේශපාලනයේ ඇත්ත කතාව.

ඉන්දියාවේ දේශපාලනය සහ ලංකාවේ දේශපාලනය අතර සමානකම් තිබෙන නිසා ජයලලිතා හිරේ නොගොස්‌ බන්ධනාගාර රෝහලට යනු ඇතැයි අපි ඊයේ (29 දා) කල්පනා කළෙමු. 
එහෙත් එවැනි දේකට ඉඩ නොතබා ඇය කෙළින්ම හිරේ යෑවීමෙන් ඉන්දීය ආණ්‌ඩුව ශ්‍රී ලංකාවට වටිනා ආදර්ශයක්‌ ලබා දී ඇත.
ජයලලිතා, ඉන්දියාවේ හැම ආණ්‌ඩුවකටම වාතයක්‌ වෙමින් තම දේශපාලන බලය පවත්වාගෙන ගිය කාන්තාවකි. ඇය ලංකාවට ලොකු ඇණයක්‌ විය. ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී ප්‍රශ්නයේදී ඇය දෙමළ ත්‍රස්‌තවාදීන් ගේ පැත්ත ගෙන අත්තනෝමතිකව කටයුතු කළේ තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස නොව මුළු මහත් ඉන්දියාවේම අගරැජන ලෙසිනි. 
ඇගේ දේශපාලනය දෙමළ ජාතිවාදය උලුප්පා කළ දේශපාලනයකි. ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් දේශපාලනයකි. බලයේ සිටි කාලයේදී තමන්ට වඩා බලගතු කෙනකු නැතැයි සිතා කළ දේශපාලනයකි. 
තවත් විටෙක එය "සාරි දේශපාලනයක්‌" ද විය. එනම්, ඇය සෑම ඡන්ද කාලයකදීම තමිල්නාඩු ප්‍රාන්තය පුරා සාරි බෙදුවාය. තමිල්නාඩුවේ සිටින අහිංසක දුප්පත් දෙමළ කාන්තාවෝ එම සාරිවලින් සෑහීමකට පත්වී ජයලලිතාට ඡන්දය දුන්හ. 
දෙමළ ජනතාවගේ ඡන්දය සූරා ගැනීම සඳහා දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි ජයලලිතා දෙමළ ජාතික කාන්තාවක්‌ නොවන බව මෙහිදී සඳහන් කළ යුතු ය. 
ඇය කන්නඩ කාන්තාවකි. කන්නඩ යනු ද්‍රවිඩ නමැති භාෂා පවුලට අයත් භාෂාවකි. (ද්‍රවිඩ භාෂා පවුලට කන්නඩ භාෂාවට අමතරව දෙමළ, මලයාලි, තෙළිඟු, මරති යන භාෂා ද තවත් උප භාෂා දහයකට වැඩි ගණනක්‌ ද අයත් ය. 
මේ අනුව ද්‍රවිඩ යනු භාෂා පවුලකට කියන නමක්‌ මිස දෙමළ ජාතියට කියන නමක්‌ නොවන බව සියලු දෙනා තේරුම් ගත යුතුය.) ඉන්දියාවේ දෙමළ ජනතාව ගැන ඇයට තිබෙන අයිතිය මෙන් දහස්‌ ගුණයක අයිතියක්‌ සුබ්‍රමනියම් ස්‌වාමි වැනි නායකයකුට තිබේ. 
(ජයලලිතා හිරේට ගාල් කළ නඩුව මෙයට වසර 18 ට පෙර පවරා අතින් මුදල් වියදම් කරගෙන ඇදගෙන ගියේ ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමිය.)

ජයලලිතා හැම විටෙකම බලය ඉක්‌මවා කටයුතු කළ අන්ත දූෂිත කාන්තාවකි. නූතන තමිල්නාඩුවේ සිනමා කර්මාන්තයට ඇය විශාල වශයෙන් අත දැම්මේය. ඇතැම් චිත්‍රපට පෝලිම් පන්නවා ප්‍රදර්ශනය කරවා ගැනීමට ඇගේ ගොට්‌ටෝ රුපියල් මිලියන ගණන් පගා ගැසූහ.

මෙය දැනට ලංකාවේ ටෙලිනාට්‍ය විකාශය කර දීම සඳහා එක්‌තරා ඇමැති කෙනකුගේ මල්ලී පගා ගැනීමට සමාන ය. කසිකබල් ටෙලිනාට්‍ය අනුමත කර පෙන්වීම සඳහා මේ මල්ලීට එක කොටසකට රුපියල් පනස්‌දහස බැගින් දිය යුතු යෑයි කියනු ලැබේ. 
තමිල්නාඩු ප්‍රාන්තයේ මුහුදු තීරයේ ජීවත් වන මාළු මුදලාලිලා ජයලලිතා සහ කරුණානිධි වටා භ්‍රමණය වන කොට්‌ඨාසයකි. මේ දෙදෙනාගේ දේශපාලනයට මේ මුදලාලිවරු ද වියදම් කරති. ඒ නිසා ඔවුන් එම මුදලාලිලා කියන දේ ඇසිය යුතු ය. 
ලංකාවේ මුහුදු සීමාවට ට්‍රොලර් යාත්‍රා එවා බලහත්කාරයෙන් මසුන් සූරාකෑම මේ මුදලාලිලා විසින් කරනු ලැබේ. ඔවුන්ට අප විරුද්ධ වූ විට ජයලලිතා සහ කරුණානිධි නටන්නට පටන් ගනිති.

ජයලලිතා ගිය ගමන කරුණානිධි ද යන්නෙ නම් මැනවැයි සිතේ. නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා වාසනාවන්තයෙකි. නියම අවස්‌ථාවේදී ජයලලිතාගෙන් ගැලවීමට ඔහුට හැකියාව ලැබීම ඒ වාසනාව ය. 

බලය යනු ඕනෑම විටෙක ගැස්‌සී යා හැකි දෙයකි. එම ගැස්‌සිල්ල බලය තිබෙන විට දී සිදුවන විට තත්ත්වය භයානක ය. ජයලලිතාට සිදු වී ඇත්තේ එම විනාශය ය.

0 Comments:

Post a Comment

Amazon Ads