Monday, January 5, 2015

Dilhani Speaks About Her Family Politics

ප්‍රියංකර මහින්දට සහාය දෙද්දී
දිල්හානි මෛත්‍රීට සහාය දෙන්න
තීරණය කළ හේතුව කියයි



මින් ඉහත අප හෙළි කළ පරිදි සිනමා නිළි දිල්හානි මෙවර ජනපතිවරණයේදී මෛත්‍රී පිලට සහය දෙද්දී ඇයගේ සැමියා වන ගායක ප්‍රියංකර පෙරේරා මහින්ද රාජපක්ෂට සහාය පළ කර තිබේ. මේ ගැන පාඨකයින් දක්වා තිබුණ වැදගත් අදහසක් වූයේ දෙපැත්තෙක් කවුරු දිනුවත් පවුල ගොඩ යන බවටය.
මෙවර සතිඅන්ත පුවත්පතක් ඔවුන් දෙදෙනා සිටින නිවසට ගොස් මේ ගැන විමසීම් කර තිබුණා.
මෙහිදී දිල්හානි කියා සිටි
අදහස් පහත පරිදිය.

උඩ ලැම්බෝගිනි යට කුසගිනි කියලා ගත්ත තීරණය නිසා දැන් ගෙදර ගිනි නේද...?

අනේ කිසි ප්‍රශ්නයක් නෑ. අපි කොහොමටත්ම බොහොම අවබෝධයෙන්නේ ඉන්නේ. එයාගේ මතයේ එයා. මගේ මතයේ මම. ඒකට කවදාවත් මම එයාට දොස් කියන්නෙත් නෑ. එයා මට දොස් කියන්නෙත් නෑ.

නමුත් ස්වාමිපුරුෂයා ගන්න තීරණයකට සහයෝගය දෙන එක බිරියගේ වගකීමක්?

හ්ම්... එහෙම තමයි කියන්නේ... ඒත් ඔය කතා වර්තමානයට ගැළපෙන්නේ නෑ. ප්‍රියංකර මට එපා කිව්වේ නෑනේ...

මේ තීරණය ගන්න කලින් ප්‍රියංකරගෙන් ඇහුවද...?

ඔව් මම එතනට යනවා කියලා එයා දන්නවා. නමුත් මම කතා කරයි කියලා දන්නේ නෑ. කිසිම වෙලාවක මට එපා කියලා නෑ. මගේ අදහස ප්‍රකාශ කරන්න කියලා තමයි එයා කියන්නේ.

මාධ්‍ය සාකච්ඡාවට යනවා කියලා ගිහින් කතාවකුත් කරලා ආවම ප්‍රියංකර මොකද කිව්වේ...?

ඒක නම් එයාටත් හිතාගන්න බැරිව ගියා. ඒ තරම්ම කට්ටිය කතා කරන්න පටන් ගත්තා. ගෙදර නිකන් වෙනස්ම තැනකට ආවා. ඒ ගැන කවුරුත් දොස් කිව්වේ නෑ. හැමෝම කිව්වේ හොඳ තීන්දුවක් හරි වෙලාවෙදි අරගත්තා කියලා. එතකොට ප්‍රියංකරටත් මට කිසිම දොසක් කියන්න බෑ. මිනිස්සු ඒතරමට එයාටම කතා කරලා මං ගැන සුබපතලා තිබුණා. එනිසා එයා මං ගැන පොඩි සතුටකුත් ආඩම්බරයකුත් ලැබුවා කියලා මං දන්නවා.

දැන් පුතා සපෝට් අම්මාට ද තාත්තාටද?

පුතා හරි ස්වාධීන පුද්ගලයෙක්. මේ ලෝකය හරිහැටියට දකින්න පුළුවන් ළමයෙක්. විශේෂයෙන්ම මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා මගේ දරුවාගෙන්. අපි හුඟක් පරක්කුවෙලයි මේ සිතිවිලිවලට ආවේ. නමුත් එයාට පොඩි කාලේ ඉඳලම ඒ දේවල් දැනුණා. මම දන්නවා කිසිම වාසියකට නැවෙන දරුවෙක් නෙවෙයි එයා.
 
ගේ ඇතුළෙත් බුලත්කොළේද හංසයාද කියන සටන ඇති.

අපි විහිළු කරගන්නවා. එයා මං ළඟින් යනකොට මට හංසයා කියනවා. මම එයා ළඟින් යන්නේ ආ... බුලත්කොළේ... කියාගෙන. කවදාවත් ලොකු සංවාදවලට නම් යන්නේ නෑ. හරි සුහදව අපි මේ තීරණවල ඉන්නේ.

දිල්හානි මේ තීරණය ගත්තේ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නෙවෙයිලූනේ.

එතකොට ප්‍රියංකර ඒ දේවල් බලාපොරොත්තු වෙනවද?


එයා දන්නේ නෑ මේ ප්‍රතිපත්ති කොහොමද කියලා. රට යන අත විධායකය වගේ දේවල් ගැන අබමල් රේණුවක්වත් ප්‍රියංකර හිතන්නේ නෑ. ඒ දේවල් එයාට අදාළ නෑ. එයා එයාගේ රස්සාව කරනවා. ගෙදර එනවා. අපිට  ඕවා වැඩක් නෑ. අපි හම්බකළොත් අපි කනවා කියලා තමයි ප්‍රියංකර කියන්නේ. වැඩිය හිතන්නේ නෑ. හැබැයි මම එහෙම නෙවෙයි. මට වැරැදි දැක්කම රිදෙන්න ගන්නව. කටවහන් ඉන්න බැරි වෙනවා.

එත් දිල්හානිට කලින් තමයි ප්‍රියංකර දේශපාලනයට ළංවෙන්නේ?

ඔව් එයා ගොඩක් දේශපාලකයන් සමඟ සම්බන්ධතා පවත්වපු කෙනෙක්. ඔවුන් සමඟ වැඩකරලා සින්දු කියලා සමාජයක් ඇසුරු කරපු කෙනෙක්. මම කවදාවත්ම ඔය කිසිම කෙනෙක් එක්ක කතා කරලාත් නෑ. ඒ නිසා මම ලේසියෙන් කාටවත් නැවෙන්නේ නෑ.
 
එතකොට ප්‍රියංකර අයියාට ඔය කියන වරප්‍රසාද ලැබුණාද?

ප්‍රියංකරත් අරගෙන නැහැ. නමුත් එයාට සංගීත සන්දර්ශනවලට කතා කරනවා. එයාගේ රස්සාව අනුව දේශපාලන භේදයකින් තොරව සින්දු කියනවා. අපි කවදාවත් කිසිම දෙයක් අරගෙන නෑ.


පොදු අපේක්ෂකයට සහාය දෙන කලාකරුවන් අනිත් කලාකරුවන්ට කියන්නේ කඬේ යන අය කියලා. එතකොට ප්‍රියංකර අයියත් කඬේ යනවා?


එයාලා කියන විදියට එහෙම වෙන්න පුළුවන්. ඒත් මම දකින විදිය වෙනස්. හැම කෙනකුටම තමන්ගේ මතය හා ස්වාධීන අදහස්වල පිහිටිය හැකියි. ඔය වචනය පාවිච්චි කරනවාටත් මම කැමැති නෑ. දෙකට බෙදුනත් අපි කලාකාරයෝ කියන්නේ එකම පිරිසක්.

අනිවාර්යයෙන්ම 8 වැනිදාට එක්කෝ මෛත්‍රි දිනනවා. නැත්නම් මහින්ද දිනනවා. ඊට පස්සේ දිල්හානිටයි ප්‍රියංකරටයි මොකද වෙන්නේ?

මේ හිටියා වගේම ඉඳියි. අපි දෙන්නාට අවුලක් නෑ. මට අවශ්‍ය පුද්ගලයෝ දිනන්න නෙවෙයි. මේ රට දිනන්නයි.
 
ඉතිං ප්‍රියංකර අයියට රට දිනවන්න එන්න කියලා කතා කළේ නැද්ද...?

නෑ... මං එහෙම කතා කළේ නෑ.

දිල්හානිට පෙනෙන රටට වෙලා තියෙන විනාශය ප්‍රියංකරට පේන්නේ නැත්තේ ඇයි...?

සමහර විට දැකලා ඇති. නොදැක්කා වගේ ඉන්නවත් ඇති. ඒ ගැන මං එයත් එක්ක කතා කරලා තියෙනවා පොඞ්ඩක්. ඒ වෙලාවට එයා හරි නිහඬයි. මං වගේ ඒ දේවල්වලදී ආවේගශීලී නෑ. ලෝකේ පෙරළුණත් අපේ මනුස්සයට ලොකු දෙයක් නෑ. මම ඊට වඩා වෙනස්.

දෙන්නා දෙපැත්තක් ගත්තේ කවුරු දින්නත් අපි දිනුම් කියන වාසිය ගන්නද...?


අනේ එහෙම එකක් නෑ. මාව මේ වෙද්දි කොයිතරම් වෙබ් සයිට්වල පවා සවුත්තු කරලා
තියෙනවාද...? ඉතිං මම ප්‍රතිපත්තියක පිහිටලා තියෙනවා. කාට හරි එහෙම හිතෙන්න පුළුවන්. ඒත් එහෙම වාසියක් ගන්න  ඕන වුණා නම් මම බය නැතිව මේ තීරණය ගන්නේ නෑ.

වාසනා සුරංගිකා විතානගේ (මවිබිම)

0 Comments:

Post a Comment

Amazon Ads