Tuesday, August 19, 2014

මංකොල්ලකරුවෙක් මෙල්ල කළාට ලාංකික කොල්ලන් දෙන්නෙකුට ඔස්ට්‍රේලියාවෙන් සම්මාන

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු එරට ‘ජාතික නිර්භීත‘සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුකම් ලබා තිබේ. 

2012 වසරේ මැක්ඩොනල්ඩ් ආයතනයකට ආයුධ සන්නද්ධව කඩා වැදුණු මංකොල්ලකරුවෙකු ජීවිත අවදානම නොතකා මෙල්ල කිරීම සම්බන්ධයෙන් මෙම සම්මානය ලැබීමට ඔවුන් සුදුසුකම් ලබා ඇති බව සංවිධායකයින් විසින් අද(18) නිල වශයෙන් නිවේදනය කර ඇතැයි එරට පුවත් සේවා අනාවරණය කරයි. 

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙවර සම්මානය සඳහා 12 ක පමණ පිරිසක් නිර්දේශවී සිටි බවත්, ඔවුන් අතුරින් ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනා අදාළ සම්මානයට හිමිකම් කියන බවත් සඳහන්ය. 

කසුන් ප්‍රනාන්දු සහ ඉෂාන් චතුරංග යන දෙදෙනාට මෙලෙස ‘ජාතික නිර්භීත‘ සම්මාන ලැබී ඇති නමුත් එය නිල වශයෙන් ප්‍රදානය කරනු ලබන්නේ එළඹෙන වසරේ පැවැත්වෙන ජාතික සම්මාන උළෙලේදී බැව් වාර්තා වේ. 

මුදල් අයකැමි මුදල් ගණන් කරමින් කාර්යබහුල වී සිටියදී වෙස් මුහුණක් පැළඳ ගිනි අවියක් ගත් පුද්ගලයෙක් එතැනට සමීපවෙනු තමා දුටු බවත්, ඔහු අල්ලා ගනු හැකි වෙතැයි තමාට විශ්වාසයක් ඇතිවූ බැවින් එකෙණෙහිම පැන ඔහුව බිමට පෙරළාගත් බවත් කසුන් ප්‍රනාන්දු එරට 7News සේවයට පවසා තිබේ.

0 Comments:

Post a Comment

Amazon Ads