Thursday, August 28, 2014

අනුන් වෙනුවෙන් වෙඩි කෑ අහිංසකයා

තවත් මාස පහකින් සාඩම්බර පියෙකු ලෙස සිඟිති දරුවකුගේ කිරි සිනා දකින්නට තම ආදරණීය බිරිඳ සහ දෙමව්පිය ඥාතීන් සමග දැල්වූ බලාපොරොත්තු  සියල්ල සුන්නද්¥ලි කරමින් කිසිවකුගේ වැරදුණ කුරුමානමක් නිසා ජීවිතයෙන් සමුගන්නට යසන්තට සිදුවිය. පසුගියදා රත්මලානේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගිය යේමන් යසන්ත අබේරත්න, රත්මලාන තෙලවල පාරේ පදිංචිව සිටි විසිපස් හැවිරිදි තරුණයෙකි. මේ වෙඩික්කරුවන්් බිළිගෙන තිබෙන්නේ යසන්තගේ ජීවිතය පමණක් නොවේ, ඔහුගේ බිරිඳ අංජනාගේ අනාගතය සේම ඇය හෙට දිනයේ මෙලොවට ජනිත කිරීමට සූදානම්ව සිටින දරු පැටියාගේ අනාගතය ද ඔවුන් බිලිගෙන හමාරය.

යසන්තගේ පවුලට සිටි එකම පිරිමි දරුවා ඔහු වන අතර ගැහැණු දරුවකු ලෙස යසන්තට එක් වැඩිමහල් සහෝදරියක් සිටියාය. යසන්ත පාසල් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේය. ඔහුට සිය පෙම්වතිය මුණ ගැසෙන්නේ මේ පාසල් සමයේදීය. ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකාවේ අධ්‍යාපනය ලැබුවාය. නමින් කේතුමතී අංජානා කැරන් වන ඇය එකල පදිංචිව සිටියේ සිය දෙමාපියන් සමග මොරටුව සොයිසා මහල් නිවාසවලය. එකල අංජනාගේ පියා හා යසන්තගේ පියා මිතුරන්ය. ඒ මිත‍්‍රත්වය නිසා සේම පුද්ගලික පංතිවලට සහභාගී වන අතරතුරත් මුණගැසුණු අංජනා හා යසන්ත ආදර අන්දරය පාසල් සමයේ දී ඇරඹුණි. වසර අටක් පෙම්වතුන්සේ ඇසුරු කළ යසන්ත හා අංජනා රැුකියාවන් ද සොයාගත් පසු දෙමාපිය ආශිර්වාදය සහිතව මීට වසර දෙකහමාරකට පෙර විවාහ වූහ. ඉන්පසු ඔවුන් අංජනාගේ පියා ඇයට දැවැද්ද ලෙස පොල්ගස් ඕවිට, අම්බලන්ගොඩ, හෙරලියවත්තේ ඉදිකළ නව නිවසේ පදිංචි වූහ. ඇගේ දෙමාපියෝ ඊට නුදුරෙහි වෙනම නිවසක පදිංචිව සිටියහ. නිවසේ කටයුතු සොයා බලාගෙන සිටීම බිරිඳට පැවරූ යසන්ත ඇය රැුකියාවෙන් ඉවත් කර ගත්තේය. ඒ වෘත්තියෙන් රැුකියා බැංකුවක ක්ෂේත‍්‍ර නිලධාරියකු වන තමන්ට පවුලේ ආර්ථික  බර තනිව දැරිය හැකියැයි තිබූ විශ්වාසය නිසාය.

අංජනාගේ දෙමාපියන් යසන්තට කැමති වූයේ ඔහුගේ පියා සමග තිබූ මිත‍්‍රත්වය නිසාම නොවේ, යසන්ත මත්පැන් පමණක් නොව දුම්වැටියක්වත් පාවිච්චි නොකරන තරුණයෙකු ද වූ නිසාය. සතුන් ඇති කිරීමට, ඔවුන් සුරතල් කිරීමට යසන්ත දක්වන්නේ ලොකු කැමැත්තකි. එනිසා යසන්තලාගේ කැදැල්ලේ ඔවුන් දෙදෙනාට අමතරව සුරතල් මාලූන්ට, බල්ලන්ට, පූසන්ට මෙන්ම කුරුල්ලන්ට ද ඉඩක් වෙන්කර තිබිණ. විවාහකයකු මෙන්ම තව නොබෝ දිනකින්ම පියෙකු ලෙස කිරුළු දරන්නට ද සූදානම්ව සිටි යසන්ත ගමේ කොල්ලෝ කුරුට්ටන් සමග සරුංගල් ඇරීමට ද පුරුදුව සිටි බව ඔහුගේ මිතුරන් පවසන්නේ ඇසට කඳුළක් නංවමිනි. තමන් කොල්ලන් රෑනට එක්ව කුඩා දරුවකු සේ විනෝද වුවද ඒ අවස්ථාව අහිමි තම බිරිඳට ද ඒ සතුට ලබාදීමට ඔහු අමතක නොකළේය. එනිසා සරුංගලයක් සාදා ඉහළ අහසට නංවා එහි නූල නිවසේ කුළුණකට ගැටගසා සිය බිරිඳට ද සතුටුවීමට අවස්ථාවක් ලබාදුන්නේය. මෙවන් වූ සුන්දර හදවතක් තිබූ යසන්ත අද අප කාගෙනුත් සමුගෙන ගොස් හමාරය.

ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවන පරිදි රත්මලානට යාමට සිදුවූ කරුණ ද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහුව වටහා ගැනීමට එය ද ඉවහල්විය හැකි බැවිනි. පසුගිය 16 වැනිදා අංජනාගේ පියා වන බෙනඩික්ගේ උපන් දිනයයි. ඒනිසා 16 වැනිදා දහවල් අංජනාගේ දෙමාපියන්ගේ නිවසට ගොස් ආහාර ගෙන ඇගේ පියාට උපන් දිනයට සුභපතා ආශිර්වාද ගෙන පසුදා තම දෙමාපියන්ගේ ද සැප දුක සොයා බලා එන්නට යසන්ත අංජනා සමග රත්මලානට ගියේ සිය සහෝදරියට වූ පොරොන්දුවක් ද ඉටුකිරීමටය. ඒ රත්මලාන ආයුර්වේදයේ ගැබිනි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන පිරිත් දේශනයක් හා දහවල් දානය සහිත පිංකමකට අංජනා සහභාගි කරන්නැයි යසන්තගේ අක්කා කළ ඉල්ලීමකට අනුව ඊට සහභාගිවීමටය. ඒ අනුව 17 වැනිදා උදේ අංජනා හා අක්කා ආයුර්වේදයට ගෙන ගොස් ඇරලවූ යසන්ත පසුදින රැකියාවට යා යුතු නිසා කොණ්ඩය හා රැවුල කපාගන්නා අදහසින් ආපසු පැමිණ බාබර් සාප්පුවට ගොඩවැදුණේය.

යසන්තගේ මහගෙවල් ආසන්නයේම පිහිටි දන්නා තේරෙන වයසේ සිටි කොණ්ඩය රැවුල කැපූ මේ බාබර් සාප්පුවේ තම මාරයා සැඟවී ඇතැයි යසන්ත කිසිසේත්ම නොසිතන්නට ඇත. පෝලිමට එක්ව තමාගේ වාරය පැමිණෙන තුරු බලා සිටින අතරතුර තමන්ට ඉදිරියෙන් වාඩිවී සිටි අය කොණ්ඩය කැපීමට නැගිට ගියෙන් යසන්ත එම හිස්වූ පුටුවෙහි වාඩි වූයේය. හිස්වූ පුටුවේ වාඩිවීමේ වරදට ජීවිතයම හිස් කරගන්නට සිදුවේයැයි ඔහු ඒ අවස්ථාවේ කිසිසේත්ම නොසිතන්නට ඇත.

මෙම සිදුවීමෙන් කම්පනයට පත් යසන්තගේ බිරිඳ කේතුමතී අංජනා කිසිවෙක් සමග කිසිවක් නොදොඩා බලාගත්වනම බලා සුසුම් හෙළමින් සිටී. ඇය හඬන්නේ ද නැත. තම සැමියා හොරා ගත්තා සේ මේ වූ සිදුවීමෙන් පසු දිගින් දිගටම හඬාවැලපුණ ඇයට හඬන්නට තරම් තවත් නම් කඳුළු ඉතිරිව නැතුවා සේය.

මේ සිදුවීම පිළිබඳව යසන්තගේ අම්මා වන අබේරත්න මහත්මිය දක්වන්නේ මෙවැනි අදහසකි.

අපිට මේ දරුවා ආපහු ලැබෙනවා නම් අපි  ඕනම දෙයක් කරනවා. ඒත් එයා දැන් ආපහු එන්නේ නැහැ. එයාට පණදෙන්න කාටවත් බැහැ. මෙයා කාටවත් වරදක් කළ කෙනෙක් නෙවෙයි. රා, අරක්කු බීගත්ත කෙනෙකුත් නෙවෙයි. එහෙම වුණා නම් මොනවා හරි හිතලා හිත හදාගන්න තිබුණා. ගෙට ගිහින් බලන්න මෙයා හදන සත්තු. සත්තුන්ට පුදුම ආදරයක් තියෙන්නේ. එහෙම දරුවෙක් තමයි අපිට නැති කළේ. මට ගොඩක් හිටියේ නෑ. එකම පුතයි හිටියේ. එයත් හොරු අරන් ගියා දෙයියනේ කාට ද මේවා පේන්නේ? පුතා මරපු එවුන්ට දඬුවම් දුන්නා කියලා වැඩක් තියේද? ඒ මිනිහා ටික කාලෙකින් ආපහු එයි.

ඇවිත් ආයෙම පරණ රස්සාව කරයි. මේක නවතින්නේ නැහැ. මේක නවතින ක‍්‍රමයක් තියෙනවා නම් මම  ඕනම දෙයක් ඒ වෙනුවෙන් කරනවා.

යසන්තගේ බිරිඳ වන අංජනාගේ පියා අයිවන් බෙනඩික් කැරන් මහතා ද අප සමග කතාකරමින් සිය දුක නිවාගන්නට උත්සාහ කළේය.

මේ දරුවා බොහොම හොඳ දරුවෙක්. කුඩු නෙවෙයි අඩුම තරමින් අරක්කු ටිකක්, සිගරැුට් එකක්වත් බොන්නේ නැහැ. කාඑක්කවත් රණ්ඩුවට යන්නේ නැහැ. පොඩි ළමයෙක් වගේ තමයි එයාගේ වැඩ. සරුංගලයක් හදලා මේ කුළුණේ ගැටගහලා අහසට යවලා දෙන්නා එක්ක බලා ඉන්නවා. ගෙයි එක කාමරයක් පිරිලා සරුංගල්වලින්. හරිම සැහැල්ලූවෙන්, විනෝදෙන් ජීවත්වුණ හොඳ පුතෙක් මට නැතිවුණා. මට බෑනා නැතිවුණා වගේම මගේ දුවට සැමියා නැතිවුණා. එයාට ලැබෙන්න ඉන්න දරුවාට පියෙක් නැතිවුණා. මේ සේරම දේවල් මේ රටේ තියෙන නොයෙකුත් වසංගත නිසයි. අපිට අපේ දරුවා ආයේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට මගේ බෑනා වෙනුවෙන් උසාවි ගානේ යන්න අවශ්‍ය නැහැ. කාටවත් දඬුවම් දුන්නා කියලාත් මට ඇති පලක් නැහැ. නමුත් මම එක දෙයක් ඉල්ලනවා. පුළුවන්නම් මේ කුඩු, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනිඅවි හැම තැනම පැතිරෙන එක වළක්වන්න පියවර ගන්න. ඒක තමයි මගේ දරුවාට වුණ දේ තවත් කෙනෙකුට සිදුවෙන එක වළක්වා ගන්න කරන්න පුළුවන් ලොකුම දේ.

කෙසේ වුවද දැන් ඔහු සිය පවුලෙන් පමණක් නොව රටෙන් දැයෙන් සමුගෙන හමාරය. සරුංගලයක් සේ සැහැල්ලූවෙන් ජීවත්වීමට සිය බිරිඳට ද ඉගැන්වූ යසන්ත ඇය පාමුල මහාමේරුව තබා, ගමක් හඬවමින් පසුගිය බදාදා (20) ආපසු නොඑන්නටම ගියේය.

පොලිසිය පවසන පරිදි ඝාතකයින්ගේ ඉලක්කයවී තිබෙන්නේ යසන්තට පෙර කොණ්ඩය කැපීමට නැගිට ගිය දිනේෂ් නමැති නම ගිය කුඩුකාරයෙකි. මෙය වැරදීමකින් වූ වෙඩි තැබීමක් බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. එහෙත් තවමත් වරදකරුවන් අත්අඩංගුවට ගෙන නැත. යසන්තගේ මවත් අංජනාගේ පියාත් පවසන පරිදි වරදකරුවන්ට දඬුවම්දීම පමණක් ප‍්‍රමාණවත් නැත. මන්ද ඔවුන් පවසන පරිදි වරදකරුවන් ටික කලකින් නැවත බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණෙනු ඇත. ඒ පැමිණෙන්නේ පුනරුත්ථාපනය වූ අයෙක් නොවන නිසා නැවතත් ඔහු පැරණි කාර්යයටම යොමුවනු ඇත.

වරදකරුවන් ඝාතනය කිරීමෙන් ද පලක් නැත. එවිට සමාජයේ ඉතිරිවන්නේ අතලොස්සක් පමණක් විය හැකි බැවිනි. මේ දෙමාපියන් ඉල්ලන්්නේ කිසිවෙකුටත් දඬුවම් දෙනවාට වඩා මේ සමාජයට අහිතකර දේ නැතිකර දැමීමට කටයුතු කරන ලෙසය. ඒවාට තරුණයින් ඇබ්බැහිවීම වළක්වන ලෙසය. වරදට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර ඔවුන්ට ජීවිකාව ගෙන යාමට මගක් හෙළිකර දෙන ලෙසය.

0 Comments:

Post a Comment

Amazon Ads